නර්තකයා, නර්තන ශිල්පියා සහ නර්තන කලාකරුවා (Dancer, Dance craftsman & Dance artist)
නර්තකයා, නර්තන ශිල්පියා සහ නර්තන කලාකරුවා
(Dancer, Dance craftsman & Dance artist)
නර්තකයා, නර්තන ශිල්පියා සහ නර්තන කලාකරුවා යන වචන ත්‍රිත්වය නර්තන ක්ෂ්ත්‍රයේ නිරතුරුවම ඇසෙන්නට ලැබෙන වචන මාලාවකි. නමුත් මෙම වචන ත්‍රිත්වයේ අර්ථය නිරවද්‍යව හඳුනාගනිමින් ඒ ඒ වාච්‍යාර්ථ නිවැරදි සන්දර්භ තුළ භාවිතයට ගන්නවා දැයි මා හට ගැටලු සහගතවන බැවින් මෙහි භාවිතයන් පිළිබඳව අදහස් කිහිපයක් පාඨකයාගේ අවධානය පිණිස ඉදිරිපත් කරන්නට සිතුවෙමි.
නර්තනය යනු ප්‍රාසාංගික කලා ආකෘතියකි. එහි පදනම දේහ චලනය ලෙසට හඳුන්වනු ලබයි. එසේනම් නර්තකයා යනු කවරෙකුද? නර්තකයා යනු නර්තනය කරන්නා වේ. ශරීරය භාවිතයෙන් රිද්මයානුකූලව චලනයන් සිදුකරනු ලබන තැනැත්තා වේ. ඒ අනුව නර්තන ක්ෂේත්‍රයේ ප්‍රායෝගිකව නියැලෙන සියලු පුද්ගලයින් ආමන්ත්‍රණය කිරිමට නර්තකයා යන යෙදුම් සුදුසු යැයි කීම සාවද්‍ය නොවේ. එය එලෙස වීම සුදුසුය යයි විනිශ්චය කිරීමට හේතුව වන්නේ නර්තන ශිල්පියා (Dance craftsmen) සහ නර්තන කලාකරුවා (Dance artists) යන පදවල අර්ථයේ ඇති ප්‍රායෝගික භාවිතය මෙලෙස විය යුතුයයැයි යන අදහස සැලකිල්ලට ගනිමිනි. බොහෝවිට ශ්‍රී ලාංකේය සමාජය තුළ මෙම පද ව්‍යවහාර කරන ආකාරයේ යම් ගැටළුකාරී වාතාවරණයක් ඇති බව මා හට පසක් වූ කරුණකි.
ශිල්පියා යනු යම් විෂය ක්ෂේත්‍රයක් ඔස්සේ යමින් එය දීර්ඝ කාලීනව ප්‍රගුණ කර එහි පරතරයටම ගිය පුද්ගලයකු ලෙසට නම් කළ හැකිය. එසේත් නොමැති නම් යම් විෂය ක්ෂේත්‍රයක් ඔස්සේ තම කුසලතා වර්ධනය කරගත් අයෙක් ලෙසට සරලව දැක්විය හැකිය. ශිල්පය සහ ශිල්පියා සම්බන්ධ වඩාත් ගැඹුරින් තේරුම් ගැනීම සඳහා Howard Risatti ගේ “A theory of craft” නැමැති ග්‍රන්ථයේ සඳහන් කර ඇති කරුණක් ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි එනම්, ඔහුට අනුව
ශිල්පය යනු සංස්කෘතිය, කාලය හා අවකාශය ඉක්මවා ගිය මානව වටිනාකම් ගැඹුරු ප්‍රකාශනයක් සමඟ මිශ්‍ර කිරීමේ කාර්යයක් ලෙසට හඳුන්වනු ලබයි. .(“Craft as uniquely blending function with a deeper expression of human values that transcend culture, time, and space”) ඒ අනුව නර්තන ශිල්පියා යනු යම් නර්තනයක් (යම් සම්ප්‍රදායක්) පිළිබඳව ගැඹුරින් හදාරා තම නර්තන ධාරාව හෝ ධාරාවන් කිහිපයක් හෝ තුළින් ශිල්පීය මට්ටමක් කරා පැමිණි අයෙක් ලෙසට හඳුන්වා දිය හැකිය.
කලාකරුවෙකු යනු සවිඥානික කුසලතා සහ නිර්මාණාත්මක පරිකල්පනය යන දෙඅංශයම සම්බන්ධ කොට ගනිමින් කටයුතු කරන තැනැත්තෙකු වේ. නර්තන කලාකරුවා යනු නර්තන ශිල්පියා යයි පැහැදිලි කරනු ලබන අර්ථයට තරමක් වෙනස් වූ අර්ථයක් ගැබ්ව ඇති තැනැත්තන් වේ. එනම් එක් පසෙකින් නර්තන කලාකරුවෙකු වීම්ට ප්‍රථම යම් නර්තන සම්ප්‍රදායක් ඔස්සේ තම චලන කෝෂය සංවර්ධනය කෙරූ අයෙක් වීම සුවිශේෂී තත්ත්වයක් ලෙසට සඳහන් කළ හැකිය. මෙමගින් අදහස් කරනුයේ යම් නර්තන සම්ප්‍රදායක් ප්‍රගුණ නොකෙරූ අයෙකුට නර්තන කලාකරුවෙකු විය නොහැකි බව නොව. නමුත් සාමාන්‍ය ව්‍යවහාරයේ දී ඕනෑම ඉගෙනීමකට පදනමක් තිබීම වැදගත් වූවක් ලෙසට අප සලකයි. ඒ අනුව උදාහරණයක් ලෙසට උඩරට නර්තන සම්ප්‍රධාය හදාරා එහි ශිල්පක්‍රම ප්‍රගුණ කෙරූ අයෙකු එම දැනුම් පාදක කොට ගනිමින් (නමුත් සම්ප්‍රදායික රාමුවකට පමණක් සීමා නොවී) නර්තනයේ ප්‍රායෝගික සහ න්‍යායාත්මක පසුබිම පිළිබඳව සූක්ෂමව සහ විවෘතව අධ්‍යනයන් කරමින් කටයුතු කරන තැනැත්තෙකු ලෙසට සඳහන් කළ හැකිය.
මෙලෙස වචන ත්‍රිත්වයක් සම්බන්ධව මාගේ සරල අදහස් දැක්මට මූලික පදනම වූයේ නර්තන ක්ෂේත්‍රයේ නියැළෙන පුද්ගලයින් ලෙස නර්තනය හා සම්බන්ධ ගොඩනගා ඇති වචන නිවැරදිව හඳුනා ගනිමින් ඒ ඒ අවස්ථාවට උචිත වන අයුරින් භාවිතා කිරීම වැදගත් බවට වූ පණිවිඩය හුවමාරු කර කරගැනීම සඳහා වේ.
ඒ අනුව Dancer, (Professional) Dance craftsman, (Professional) Dance artists, යන ඉංග්‍රීසි පදයන්හි සිංහල භාවිතය පිළිබඳව නර්තන ක්ෂේත්‍රයේ නියැලෙන්නන් ලෙසට අප සිතිය යුතු කරුණක් ලෙස ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි.
........ කවින්ධ්‍යා බණ්ඩාර ...........
Comments
Post a Comment