ධ්‍යානමය ව්‍යූහ සහ දේහ චලන (Types of meditation and body movements)



ධ්‍යානය නොහොත් භාවනාව (Meditation) යනු යම් ජීවියෙකු තම මනස සහ ශරීරය අතර සහසම්බන්ධතාවය මනාව පවත්වා ගැනීමට සඳහා මෙන්ම අවධානය සහ දැනුවත්භාවය ඉහළ තත්ත්වයක් කරා ගෙනයාමට පුහුණු කරවන ශිල්ප ක්රමයක් වේ.ධ්යානමය වැඩීම විවිධාකාරය. එනම් ඒවා සිදු කරනු ලබන ක්රමවේදය අනුව විවිධ වර්ගීකරණයන්ට ලක් කර ඇත. එම වර්ගීකරණයන් අතුරින් කිහිපයක් ලෙස


සතිපට්ඨාන ධ්‍යානය (Mindfulness meditation), ලෝකෝත්තර ධ්‍යානය (Transcendental meditation), නියමු ධ්‍යානය (Guided meditation), විපස්සනා ධ්‍යානය (Vipassana meditation), මෙත්තා ධ්‍යානය (Loving kindness meditation), චක්ධ්‍යානය (Chakra/ wheel meditatio), යෝගා ධ්‍යානය (Yoga meditation), චලන ධ්‍යානය (Movement meditation), සෙන් ධ්‍යානය (Zen meditation), තාඕවාදී ධ්‍යානය(Taoist meditation), චිගොන්ග් ධ්‍යානය(Qigong meditation), කිතුනු ධ්‍යානය (Christian meditation) ආදිය නම් කළ හැකිය.



ඉහත සඳහන් කර ඇති ධ්‍යාන ක්රමවේද පුහුණු කරන ආකාරය පිළිබඳව සහ සමස්තයක් වශයෙන් එම ධ්‍යාන ක්රමවේදවල අන්තර්ගත ප්රායෝගික භාවිතය සහ එහි ඇතුළත් දර්ශනය නර්තනයෙකු ලෙස තම ශරීර චලනයන් සිදු කිරීමේදී සහ ශරීරය නිවැරදි ලෙස හසුරුවා ගැනීම සඳහා වූ කවර උපයෝගීතාවයන් අන්තර්ගතව ඇත්දැයි සහ විශේෂයෙන් නර්තන ධ්‍යාන (Dance movement meditation) ක්රමවේද ඔස්සේ ඒ ඒ රටවලට ආවේණිකව බිහිවී ඇති ධ්‍යාන ශිල්ප ක්රම පිළිබඳව හඳුන්වා දීමත් සහ ඒවා ඔස්සේ නර්තන චලන ධ්යාන පිළිබඳව නව මානයකින් බැලීමට මාර්ගෝපදේශයක් වේ යැයි යන පදනමින් ඉදිරිපත් කරනු ලබන තොරතුරු ගොනුවක් ලෙසට දැක්විය හැකිය.


සතිපට්ඨාන ධ්‍යානය (Mindfulness meditation) පුහුණු කරවීම තුළින් පුද්ගලයෙකුගේ අදහස් සහ හැඟීම් සමග ඒ මොහොතේ පූර්ණ ලෙස ජීවත්වීමට හැකියාාව ලබා දෙයි. එසේම පුද්ගලයෙකුගේ සවිඥානිකත්වය වර්ධනය කරයි.


උදාහරණයක් වශයෙන් පුද්ගලයෙකු තම දෛනික කාර්යයන් පවත්වාගෙන යාමේදී ඒවා සිදු කරනු ලබන අවකාශය (Where I am now) සිදු කරනු ලබන ආකාරය (How I am doing) සම්බන්ධව සහ සමස්තයක් ලෙස ඒ මොහොත (How I am being at the present moment) පිළිබඳව සවිඥානිකව ජීවත්වීමට පුහුණු වේ.


මෙම ධ්‍යාන ක්රමවේදය පුහුණු කරවීම සඳහා සුවිශේෂී වූ නිශ්චිත ඉරියව්වක් නොමැති අතර එබැවින් ඕනෑම පුද්ගලයෙකු විසින් තම දෛනිකව සිදු කරනු ලබන සමාජ සම්බන්ධතා සහිත කාර්යයන් සමග ද පුහුණු කරවීමේ හැකියාවක් පවතී.


මෙම ක්රමවේදය පුහුණු කර කරවීම හේතුවෙන් නර්තකයෙකු ලෙස තම ශරීරයේ ඇති සියලු අංගෝපාංග කෙරෙහි සක්රීය අවධානය නැතහොත් සවිඥානිකත්වය රඳවා පවත්වා ගැනීමට හැකියාව ලැබෙන අතර ශරීර චලනයන් සිදු කිරීමේදී තම චලනය හුදෙක් චලනයක් ලෙසට නැතහොත් බාහිර ප්රතිරූපය පිළිබඳව එනම් හැඩ, චලනය කරනු ලබන දිශානතිය හෝ චලනයේ සෞන්දර්යාත්මක බව පිළිබඳව පමණක් නොසලකා, සිදුකරන චලන පිළිබඳව ගැඹුරින් අවධානය යොමුකර, සවිඥානිකත්වයෙන් චලන දැක්වීමට හුරු කරවයි.


උදාහරණයක් ලෙස දේහ චලන සිදු කරන ස්ථානයේ ස්වභාවය චලනය සිදු කිරීමේදී ශරීරයේ සිදුවන අභ්යන්තරික ක්රියාවලිය පිළිබඳව අවධානය යොමු කිරීම නැතහොත් චලන සිදු කිරීමේදී තම අස්ථි පද්ධතිය, මාංශ පේශි පද්ධතිය ආදියේ ක්රියාවලිය කෙලෙස වේදැයි අවධානය යොමු කිරීම ආදි වැදගත් වේ. සමස්තයක් ලෙස සිදු කරනු ලබන දේහ චලනය ඒ මොහොතේ ජීවත් වෙමින් සවිඥානිකව සිදු කිරීමට හැකියාව ලැබීම.


ලෝකෝත්තර ධ්‍යානය (Transcendental meditation) පුහුණු කරවීම මගින් පුද්ගලයෙකු යම් කාර්යයක් කිරීමේදී තම අවධානය වෙනතකට යොමු කිරීමට බලපාන සිතුවිලි හැඟීම් මගහරවා තම අවධානය තමාගේ අරමුණ වෙනුවෙන්ම පවත්වාගෙන යාමේ හැකියාාව පෝෂණය කරයි. සමස්තයක් ලෙස තමා සිදු කරනු ලබන කාර්යයන් ඒ මොහොතේ ජීවත් වෙමින් සවිඥානික ලෙස සිදු කිරීමට පුහුණු කරවයි.


මෙම ක්රමවේදයේදී වෛදික සම්ප්රදායෙන් එන වචන හෝ ශබ්ද ලෙසට සලකන මන්ත්ර භාවිතා කොට සමාධියට පත් වීමට උත්සාහ කරයි. උගන්වයි. මෙම ධ්‍යාන ක්රමය වැඩීම සඳහා වචනල ශබ්ද හා ශබ්ද ඛණ්ඩ භාවිතා කරයි.


නර්තයෙකුට මෙම ධ්යාන ක්රමවේදයේ අනුගමනය කරනු ලබන ක්රියාපටිපාටිය යම් ආකාරයක චිකිත්සනමය ක්රියාවලියක් ලෙසට භාවිතා කළ හැකි බව මාගේ අදහසයි. එනම් මෙම ධ්යාන ක්රමවේදයේ ස්වභාවය ලෙසට ගැනෙන වචන,ශබ්ද හෝ වචන කන්ඩ භාවිතයෙන් ධ්යානය වැඩීම වෙනුවට යම් පුද්ගලයෙකුගේ සිත තුල හට ගන්නා අදහස්, සිතුවිලි, හැඟීම් වචන ආකාරයට සකසා හෝ නොමැතිව එම හැඟීම්, අදහස් චලන මාධ්යයෙන් ඉදිරිපත් කිරීමට හැකි බවත් සහ එමගින් පුද්ගලයෙකුගේ කායික හා මානසික සවිඥානිකත්වය වර්ධනය කර ගැනීමට අවකාශය සැලසෙන බව.


නියමු ධ්‍යානය (Guided meditation) සිදු කරනුයේ පුද්ගලයකුගේ පංචේන්ද්රියන්ට ගෝචරවන සංවේදීතාවයන් නැතහොත් දැනෙන දෑ පිළිබඳව සවිඥානිකත්වය ලබා ගැනීමේ පුහුණුවක් ලැබීමයි. මෙහිදී එක් එක් පුද්ගලයාට එක් එක් වස්ථාවන්වලදී තම පංචේන්ද්රියන්ට ගෝචරවන දෑ පිළිබඳව අවබෝධය ලබා ගනිමින් ඒ අවස්ථාවන්වල මනා දැනීමක් සහිතව ජීවත් වීමට පුරුදු කරවයි. උපදේශකවරයකෙකු ගේ මග පෙන්වීම යටතේ මෙම පුහුණු වීම සිදුකරවයි. උදාහරණ ලෙස ඇස් මගින් යමක් දකී, කන මගින් යමක් ශ්රවණය කරයි, නාසය මගින් ගන්ධයක් ආග්රහනය කරයි, දිව මගින් යම් රස්යක් විඳි සහ ශරීරය මගින් නැතහොත් සම මගින් යම් ස්පර්ශයක් විදිය. මෙලෙස තම පංචේන්ද්රියන් මගින් ලබාගන්නා විවිධාකාරයේ අත්දැකීම්වල ඒ මොහොතේ ජීවත් වෙමින් සිහි නුවණින් යුතුව වත්මන් මොහොත ගත කිරීමේ සවිඥානිකත්වය වර්ධනය කරයි.

නර්තකයෙකු මෙම ධ්‍යානය වැඩීම පුහුණුවක් ලෙසට තම දෛනික ජීවිතයේට එක්කර ගැනීමෙන් ඔහුට හෝ ඇයට තමා විසින් සිදු කරනු ලබන දේහ චලනය විඳිමින් තම ඉදිරිපත් කිරීම් සිදු කරන්නට අවකාශය සලසා ගත හැකිය එනම් තමා විසින් සිදු කරනු ලබන චලනය සවිඥානික මනෝමය ක්රියාවක් ලෙසට සිදුකිරීමට හැකියාව ලැබේ. මෙමගින් ලැබෙන අත්දැකීම් හුදෙක් බාහිර සෞන්දර්ය පිළිබඳව පමණක් අවධානය යොමුකර සිදු කරනු ලබන චලනයන්ට සාපේක්ෂව වෙනස් වේ.



විපස්සනා ධ්‍යානය (Vipassana meditation) මගින් ස්වයං නිරීක්ෂණය හරහා ස්වයං පරිවර්තනයක් ළඟාකර ගත හැකිය. මෙම ක්රමවේදය අඛණ්ඩව පුහුණු වීමෙන් මනස සහ ශරීරය කර ගැඹුරු සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට අවකාශය ලැබේ.


මෙත්තා ධ්‍යානය (Loving kindness meditation) මගින් තමාට මෙන්ම අනෙකාටද ආදරය සහ කරුණාව ලබාදීමට පුහුණු කරවයි. වචන සහ වාක්ය භාවිතයෙන් අනෙකාට සුබ පැතීමක් නැතහොත් අනෙකාගේ මනසට උත්තේජකයක් වන ආකාරයෙන් ආමන්ත්රණය කරයි. උදාහරණයක් වශයෙන්
May I be happy?
May I be well?
May I be safe?
May I be peaceful?
May all beings everywhere be happy?
නර්තකයෙකු වශයෙන් ඉහත සඳහන් කෙරූ වචන කන්ඩ දේහ චලන ලෙසට පරිවර්තනය කොට චලන දැනීම සහ චලන ශක්තිය හරහා සෙසු පුද්ගලයින්ට බෙදා දිය හැකිය. වක්රාකාරව නර්තකයාගේ කායික හා මානසික සෞඛ්ය සම්පන්න බව ද වර්ධනය කරයි.



චක්ධ්‍යානය (Chakra/ wheel meditation) මගින් ශරිරයෙ ශක්ති හා අධ්යාත්මික බලයේ මධ්යස්ථ බව ඇතිකර ගැනීමට පුහුණු කරවයි. සෑම පුද්ගලයෙකු තුළම ශරීරය පුරා චක්ර ලෙසට හැදින්වෙන ප්රධාන ශක්ති මධ්යස්ථාන හතක් පවතී. ශීර්ෂයෙන් ආරම්භ වී කොඳු ඇට පෙළ හරහා පහළට ගමන් කරනවා කාරයෙන් මෙම ශක්තීන් පිහිටා ඇත. මෙම ශක්තිමත් මධ්යස්ථානවලට නියමිත කාර්යභාරයක් ද තිබීම සුවිශේෂී ලක්ෂණයකි. චක්ර සත ලෙස සහස්ර චක්රය (Sahasrara), අජ්න චක්රය(Ajna), විශුද්ධ චක්රය (Vishuddha), අනහත චක්රය (Anahata), මනිපුර චක්රය (Manipura), ස්වධිස්ථාන චක්රය(Svadhisthana) සහ මූලධාර චක්රය (Muladhara) නම් කළ හැකිය.


චක්ර මගින් යහපත් ජීවිතයක් ගත කිරීමට අවශ්ය ජීව ශක්තිය නිපදවා ශරීරය පුරා බෙදා බෙදා හැරීමක් සිදු කෙරේ. චක්ක්ර විවෘතව ඇති විට ශක්තිය ශරීරය පුරා කිසිදු අව අවහිරයකින් තොරව ගලා යයි. නමුත් චක්ර සංවෘතව ඇතිවිට හෝ අවහිරව ඇති විට ශරීරය හා මනස අතර අසමතුලිතතාවයක් ගොඩ නැගේ.



නර්තකයෙකු වශයෙන් මෙම චක්ධ්‍යානය පුහුණු කරවීම හේතුවෙන් තමා සිදුකරන වන චලනයේ නම්යශීලී බව හා සමබරතාවය මනාව පවත්වා ගැනීමටට හැකියාව ලැබේ. මන්ද චක්ර විවෘත වීම හේතු කොට ගනිමින් සිදුවන මනා ශක්ති ගලනය හේතුවෙනි.


ඉහත නම් කර ඇති සියලුම ධ්‍යාන වර්ගීකරණයන් පිළිබඳව මෙම ලිපියේ දී සාකච්ඡා නොකරන අතර ඉදිරි ලිපි වලදී මෙම වර්ගීකරණයන් පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කිරීමේ බලාපොරොත්තුවෙන් මෙම ලිපියේ ඉදිරි කොටස නර්තන චලන ධ්යානය සහ ඒ හා සමගාමීව නිර්මාණය වී තිබෙන විකල්ප චලන ධ්‍යාන ක්රම කීපයක් සහ පොදුවේ චලන ධ්යානය මඟින් නර්තකයෙකූට ලැබෙන ප්රතිඵල සම්බන්ධ පැහැදිලි කිරීමක් මෙතැන් සිට සිදු කරනු ලැබේ.



නර්තන ධ්‍යානය (Dance meditation) යනු චලනය මූලික කොටගත් ගනිමින් සිදු කරනු ලබන අභ්යන්තරික පුහුණුවකි (Embodied practice) මෙම පුහුණුවේ මූලික පදනම චලනය වන බැවින් අප සිදුකරනු ලබන ඕනෑම නර්තන චලනයක් සමඟ මෙම ධ්යානය වැඩිය හැකි බව මාගේ අදහසයි. නමුත් ඊට ප්රථම විකල්ප චලන ධ්යානය ක්රම ලෙසට භාවිතා කළ හැකි ක්රමවේද කිහිපයක් එහි මූලික පියවරක් ලෙසට භාවිතා කළ හැකිය. එනම් tai chi, Yoga, දිවීම ඇවිදීම වැනි ක්රියාකාරකම් සහ Qigong ආදිය නම් කළ හැකිය. නර්තනය යන්න ධ්යානය පුහුණු කරවීම සඳහා තාක්ෂණික උපක්රමයක් ලෙසට භාවිතා කරයි. එහි ප්රතිඵලයක් වශයෙන් නර්තකයන්ට තම චලන මොහොත විඳීමට සහ මනස සැහැල්ලු කර ගැනීමට අවස්ථාව ලැබේ. මෙම තාක්ෂණික උපක්රම විවිධ රටවල විවිධ සංස්කෘතික පද්ධතිවල ස්වභාවයන්ට අනුව වෙනස් ස්වරූපයක් ගනී. ඒ ඒ රටවල පවතින ආගමික සන්දර්භයන් අනුව එනම් හින්දු, ක්රිස්තියානි සහ බෞද්ධ ආදී වශයෙන් ඇති විවිධ ආගමික දර්ශනයන්ට අනුකූලව නර්තනය හා සම්බන්ධව භාවිතා කරනු ලබන තාක්ෂණික ක්රමවේද වෙනස් වේ.




උදාහරණයක් ලෙසට ධ්‍යානය පදනම් කරගනිමින් එය මූලික කේන්ද්රය කොට ගනිමින් නිර්මාණය වූ චලන සම්ප්රදායන් දක්නට ලැබීම. බුදුදහම හා සම්බන්ධව නිර්මාණය වී ඇති Cymbal Dance, Butterfly Dance සහ Taju ආදිය කිහිපයක් ලෙසට දැක්විය හැකිය.



නර්තන චලන දානය සම්බන්ධයෙන්ව පොදුවේ අවධානය යොමු කිරීමේදී දක්නට ලැබෙන ප්රතිඵල ලෙස, අවධානය යොමු කිරීමේ පහසුව වර්ධනය වීම, ක්රියාකාරී පුද්ගලයෙකු නිර්මාණය කිරීම, ශරීරය හා මනස යන දෙඅංශය සඳහාම ව්යායාමයක් වීම, පැරණි පුරුදු වෙනස් කොට ශක්තිමත් බවක් ගොඩනඟාගත හැකි වීම, විනෝදයක් නිෂ්පාදනය කිරීම, නිර්මාණශීලීත්වය වර්ධනය කිරීම සහ සුවපත් බවක් ඇති කිරීම ආදිය දැක්විය හැක.


මෙම ලිපියෙන්  ධ්‍යානමය ව්‍යූහ සහ දේහ චලන සම්බන්ධ හැඳින්වීමක් කිරීම පමණක් අරමුණ වූ අතර ඉදිරියේදී මෙම එක් එක් ධ්‍යානයන් සම්බන්ධව පුළුල් ලෙස සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි.
------ කවින්ධ්යා බණ්ඩාර --------

Comments

Post a Comment

Popular posts from this blog

The Future of the Dance World: An Academic Perspective

Dance Body and Artificial Intelligence:

How to Include Creativity into AI and Its Advantages for Dancers