Giving life to inanimate Bodies

අප්රාණික ශරීරවලට ජීවයක් ලබාදීම
අප්රාණික ශරීරයකට නැතහොත් අජීවී වස්තුවකට ප්රාණයක් ලබාදීමට ජීවියෙකුගේ මැදිහත්වීම අතිශය වැදගත් වේ. උදාහරණයක් ලෙස අපි මෙලෙස සිතමු. මේසයක් මත පොතක්, පෑනක්, පැන්සලක් හෝ කවර ආකාරයක අජීවි වස්තුවක් තිබෙනවා යැයි සිතන්න. එම වස්තුව මේසයේ එක් ස්ථානයක ස්ථානගත කර ඇත. එම ස්ථානයේ සිට කවර හෝ අවකාශයකට එම වස්තුව ගමන් කරවීමට නැතහොත් චලනය කරවීමට ප්රාණියෙකුගේ මැදිහත් වීම අත්යවශ්ය බව. ප්රාණියෙකු ලෙස යම් මානවයෙකු හෝ සත්ත්වයෙකුගේ මැදිහත් වීමක් මේ සදහා භාවිතා කිරීමට සිදුවනවා විය හැකිය.



එය කෙසේවුවත් මෙහි දී අවධාරනය කරනු ලබන්නේ නර්තකයෙකු, නර්තන රචකයෙකු ලෙස යම් අජීවි වස්තුවක් සමග චලන රචනයන් සිදු කිරීමේ දී ඒ ඒ නර්තකයා හෝ නර්තන රචකයා විසින් තම නර්තන රචනය සදහා භාවිතා කරන්නට යෙදෙන අජීවි වස්තුව, උපරිම ආකාරයෙන් ප්රයෝයනයට ගැනීම සදහා නර්තකයෙකු, නර්තන රචකයෙකු ලෙස භාවිතා කළ හැකි ක්රමවේද මොනවදැයි හදුන්වා දීමටයි. මෙම ක්රමවේදයන් චලන ගවේශකයෙකු ලෙස මා සිදු කරනු ලැබූ අත්හදා බැලීම්වල ප්රතිඵලයක් ලෙසට ගෙන එන අදහස් වේ. මෙහිදී ඉදිරිපත් කිරීමට අපේක්ෂිත කරුනු නැතහොත් මූලිකාංග මෙම ලිපියේ සදහන් කරනු ලබන අජීවි වස්තුවක් සමග චලන රචනය කිරීමේදි පමණක් නොව නර්තකයෙකු තවත් නර්තක ශරීරයක් සමග චලන රචනය කිරීමේදී ද ක්රමවේද ලෙසට භවිතා කර හැකි බව මාගේ අදහස වේ.



එමෙන්ම මෙම ලිපියෙන් අජීවි වස්තූන් සමග චලන රචනය කිරීමේදී භාවිතා කළ හැකි ක්රමවේද හදුන්වා දීම මෙන්ම අජීවි වස්තුවක් සමග චලන රචනය කිරීමේදී සංස්කෘතියුක්ත නර්තකයෙකු, නර්තන රචකයෙකු ලෙසට මුහුණ දීමට සිදුවන සීමාකම් පෙන්වා දීමද සිදු කරනු ඇත. නමුත් මෙම සියලු අදහස් පිලිබදව දරන මතය එක් එක් නර්තන විචාරකයින්ට අනුව සාපේක්ෂ විය හැකිය.


පලමු ක්රමවේදය නම්,
1) චලන රචනය සදහා තෝරා ගන්නා අජීවි වස්තුව සමග
වත්මන් මොහොතේ (At the present moment) ජීවත්
වෙමින්, එනම් එම මොහොතේ තමාට දැනෙන හැගීම සමග
සම්බන්ධ වෙමින් අදාල වස්තුව චලනය කිරීම.


උදාහරණයක් ලෙස මෙසේ සිතමු. අප කවර හෝ අවස්ථාවක දුකකින් සිටිනවා යැයි සිතමු. එසේ නම් මෙහිදී අදහස් කරනුයේ ඉහත සදහන් කෙරූ දුක් සහිත හැගීම සමග ජීවත් වෙමින්, එම හැගීම, අප තෝරා ගන්නා වස්තුව සමග සම්බන්ධ කොට චලනයේ යෙදීමයි.



මෙය එතරම් පහසු ක්රියාවක් නම් නොවේ. ඒ සදහා මනා පුහුණුවක් අවශ්ය වේ. එනම් වස්තුවක් සමග චලන රචනය කිරීමට ප්රතම තම ශරීරය සහ මනස වත්මන් මොහොතේ ජීවත් කර වීමට පුහුණු කළ යුතුවනු ඇත. ඒ සදහා යෝගා අභ්යාස, විවිධ භාවනා ක්රම, අංගම්පොර සහ තායි චී වැනි සටන් කලාවන් මගින් පුහුණු විය හැකිය. එසේම මෙම ක්රමවේදය භාවිතා කිරීම මගින් නර්තකයෙකුට සිය ශරීරය පිළිබදව සවිඥාණික වීමට ද විශාල රුකුලක් සපයයි. එමෙන්ම භාවිතා කරනු ලබන චලනය නිදහස් චලනයක් හෝ කවර ආකාරයක හෝ සම්ප්රදායික චලනයක් විය හැකිය.



සවිඥාණික වීම මගින් නර්තකයෙකු වශයෙන් ශරීරයට සිදුවන කායික බධා, අනතුරු ආදිය ද අවම කර ගත හැකි වේ.
දෙවන ක්රමවේදය නම්,
2) තෝරා ගන්නා අජීවි වස්තුවේ බාහිර ස්වරූපය පිලිබදව
අවධානය යොමු කිරීම.
උදාහරණයක් ලෙස චලන රචනය සදහා කලයක් භාවිතා කරනවා යැයි සිතමු. මෙහි දී කලයේ ඇති විශාලත්වය එනම් ප්රමාණයෙන් කුඩා ද විශාල ද යන්න නිරීක්ෂනය කිරීම, කලයේ ඇති උස සහ වටප්රමාණය පරීක්ෂා කිරීම ආදිය මේ යටතට ගැනේ.



3) තෝරා ගන්නා අජීවි වස්තුවේ ඇති ගුණාංගවල ස්වභාවය
පිළිබදව සැලකිළිමත් වීම.


උදාහරණයක් ලෙස මෙලෙස සිතමු. අපට එදිනෙදා ජීවිතයේ දී මුණගැසෙන පුද්ගලයන් අතරින් මේ පුද්ගලයා හරිම කරුණාවන්තයි, මේ පුද්ගලයා හරිම බුද්ධිමත් ආදී වශයෙන් පැසසුමට ලක් කරයි. එලෙසම අප තෝරාගන්නා වස්තුවට ද විවිධ වූ ගුණාංග පවතී. ඒවා නිරික්ෂණය කිරීම ම්ගින් ද සාර්ථක චලන රචනයක් සිදු කර ගැනීමට අවස්තාව ලැබෙනු ඇත.අජීවි වස්තුවකට උදාහරණයක් ලෙස ලෝහ බෝලයක් ගතහොත් මෙහිදී ලෝහ බෝලයේ බර, ඝණකම සහ ප්රමාණය පරීක්ෂා කිරීම වටී.


4) යම් වස්තුවකට අදාළ ක්රියාකාරකම (Usual Activity)
ඇසුරෙන් චලන රචනය කිරීම එනම් සංස්කෘතිය විසින් ඒ ඒ
අජීවි වස්තුවට ආවේණික කාර්යක් අනුගත කර ඇත. එම
ක්රියාකාරකම කෙරෙහි අවධානය යොමු කර චලන
නිර්මාණය කිරීම මෙහිදී සිදු කරයි.


උදාහරණයක් ලෙස පුටුවක්, පොතක්, දත් බුරුසුවක්, මේසයක් හෝ කොස්සක් භාවිතයෙන් චලන නිර්මාණය කිරිමට අවශ්ය යයි සිතමු. මෙහිදී පුටුව වාඩි වීමට භාවිත කරයි, දත් බුරුසුව දත් මැදීමට භාවිත කරයි, මේසය යමක් තැබීමට භාවිත කරයි, කොස්ස අතු ගෑමට නැතහොත් පිරිසිදු කිරීමට භාවිත කරයි ආදී වශයෙන් ඒ ඒ වස්තුවට පැවරී ඇති කාර්යය පදනම් කර ගනිමින් චලන නිර්මණය කිරීම මෙහිදී සිදු කරනු ලබයි.


5) වස්තුවට නියමිත වූ කාර්යයෙන් බැහැරව (Unusual
Activity) චලන රචනය කිරීම.


උදාහරණයක් ලෙස පෙර සදහන් කෙරූ වස්තූන් කිහිපයෙන්ම පැහැදිලි කර ගනිමු. පුටුව වාඩි වීමට භාවිත කරයි නමුත් මෙහිදී එය සිට ගැනීමට, වැතිරීමට ආදී අසාමන්ය ක්රියාකාරකම් කෙරෙහි අවධානය යොමු කරනු ලැබේ. මේසය හිද ගැනීමට භාවිතා කිරීම ආදී වශයෙන් චලන නිර්මාණය කල හැකිය. මෙම උදාහරණ හුදෙක් ක්රමවේද හදුන්වා දීමට පමණක් භාවිත කරනු ලබන අතර මීට වඩා සංකීර්ණ වූ චලන නිරිමාණය කිරීම මගින් නිර්මාණශීලී චලන ගොඩනගාහැනීමේ හැකියාව පවතී.


ඉහත සදන් කෙරූ කරුණුවලට අමතරව චලන රචනයක දී ඒ ඒ චලනය මගින් නිරූපණය කිරීමට අපේක්ෂිත අර්ථයට අනුව අවකාෂයේ තල භාවිතය, දිශා භාවිතය ආදිය කෙරෙහිද අවධානය යොමු කිරීම වටී.


එසේම අප තෝරා ගන්නා අජීවි වස්තුව චල හෝ අචල විය හැකිය. ඒ කෙරෙහි සැළකිලිමත් වීම ද වටී.


අජීවි වස්තුවක් සමග හෝ එසේ නොමැතිව චලන රචනය කිරීමේ දී අවධානය යොමු කළ යුතු තවත් බොහෝ අංශ ඇති බව සදහන් කළ යුතුය. නමුත් ඒවා පිලිබදව මෙම ලිපියේ දී අවධානය යොමු නොකරනු ලැබේ.


මෙම ලිපියේ ආරම්භයේ දී සදහන් කළ පරිදි අජීවි වස්තුවක් සමග චලන රචනය කිරීමේදී මුහුණ දීමටවන සීමාකම් ද පවතී. එනම්, යම් අජීවි වස්තුවක් භාවිතා කොට චලන රචනයක් සිදු කිරීමේ දී ඒ ඒ අජීවි වස්තුවට සංස්කෘතිය විසින් ආරෝපණය කර ඇති වටිනකම් ඇත. එසේම ඒවා විවිධාකාර ද වේ.


උදාහරණයක් ලෙස චලන රචනයක් සදහා බුලත්, පොල් මලක්, වෙස් තට්ටුවක් සහ පොතක් ගැනීමට සිදුවනු ඇතැයි සිතමු. එවිට ඉහත සදහන් කෙරූ ක්රම වේද අනුගමනය කොට චලන රචනයක් සිදු කලහොත් යම් යම් සීමාකම්වලට මුහුණ දීමට සිදුවනවා නොඅනුමානය. එය උදාහරණයක් ඇසුරෙන් පැහැදිලි කර ගනිමු.



චලන රචනය සදහා වෙස් තට්ටුව භාවිතා කරනවා යැයි සිතමු. මෙහිදී කාන්තාවන් ලෙස වෙස් තට්ටුව භාවිතා කොට චලනය කිරීමට නොව ස්පර්ශ කිරීමටවත් අවසරයක් ලැබී නොමැත.එය මදකට පසෙකින් තබමු. පිරිමි නර්තකයෙකුට වුවද මෙම වස්තුව භාවිතකොට චලන රචනය කිරීමේදී සීමාකම්වලට මුහුණ දීමට සිදු වේ. මෙහිදී සංස්කෘතියුක්ත පුද්ගලයෙක් ලෙස වෙස් තට්ටුවට සමාජය විසින් නිර්මාණය කර ඇති වටිනාකමේ ස්වභාවයට අනුගතව යමින් නිර්මාණය කරනු ලබන සියලු චලන මැද සහ ඉහල අවකාශය භාවිතයෙන් ගොඩනැගීමට සිදුවනු ඇත. යම් ආකාරයකින් පහල අවකාශය භාවිතාකොට චලන නිර්මාණය කළහොත් එය ගැටලුවක්වනු ඇත.




නමුත් චලන ගවේෂකයෙකු ලෙස මා මෙම සීමාකම්වල ඇති සදාචාරාත්මක බව පිලිබදව මගෙන්ම ප්රශ්න කරන අවස්තා බොහෝය. එනම් අප බොහෝ විට සමජයේ සිටින සිමිත පුද්ගල කොට්ඨාසයක් කෙරෙහි අවධානය යොමු කර සියල්ල විනිශ්චය කරනවාද යන්නයි. මා එම කාරනය මෙසේ පැහැදිලි කිරීමට කැමැත්තෙමි.




උදාහරණයක් ලෙස ඔබ දෙ අත් අහිමි පුද්ගලයෙක් යැයි මොහොතකට සිතන්න. එසේම ඔබ නර්තකයෙකු බව ද සිතන්න. ඔබට අප සමාජයේ ගෞරවාදරයට පාත්ර කර ඇති වස්තුවක් භාවිත කොට නර්තනයක් නිර්මාණය කිරීමට සිදූ වී ඇතැයි මොහොතකට සිතන්න. උදාහරණයක් ලෙස වෙස් තට්ටුව භාවිතා කිරීමට සිදු වේ නම් ඔබ කෙලෙස චලන නිර්මාණය කරනවා යැයි සිතාගත හැකිද? ඔබට ඇත්තේ පාද දෙක පමණි. එවිට ඔබගේ චලන නිර්මාණය කිරීමට සිදුවන්නේ ඔබගේ පාද භාවිතා කිරීමෙන් පමණක් බව ඔබට වැටහෙනවාද? එසේ නම් සමාජය විසින් නිර්මාණය කර ඇති වටිනාකම් සමාජයේ සීමිත පිරිසක් වටා සාධාර්ණීකරනය වීම කණගාටුදායකය කරුණක් නොවේ ද?මෙලෙස සීමාකම් පෙන්වා දිමේ අපෙක්ෂාව අපගේ සංස්කෘතිය කඩා බිද දමන්නටනම් නොව නර්තකයෙකු, නර්තන ශිල්පියෙකු සහ නර්තන කලකරුවෙකු ලෙස සමාජය දෙස ගැඹුරින්, සියුම්ව පරීක්ෂා කිරීම වටිනා බව පසක් කර වීමටය.

Comments

Popular posts from this blog

The Future of the Dance World: An Academic Perspective

Dance Body and Artificial Intelligence:

How to Include Creativity into AI and Its Advantages for Dancers